Tuesday 13 November 2018

ගොළු සාක්ෂිකරුවා.



ගොළු සාක්ෂිකරුවා....  පුද්ගලිකවම මා හට  ෂර්ලොක් හෝම්ස් තරම්ම එක හුස්මට කියවන්න තරම් අසා හිතුන කුතුහලය දනවන තරමේ රහස් පරීක්ෂක කතාවක් නොවෙන බව මුලින්ම කියන්න ඕන, සමහර විට පරිවර්තකගේ හැකියාව මත පොතේ රසය අඩු උනා වෙන්නටත් පුළුවන්. එක්කෝ මුල් පොත හොයාගෙන කියවලා බලලා ඉන්න ඕන. මෙහි පරිවර්තක තොම්සන් ඒ. වැන්දබෝනා මහත්මියයි. චන්දන මෙන්ඩිස් සමග තොම්සන් ඒ. වැන්දබෝනා සසඳන්නද, ආතර් කොනන් ඩොයිල් සමග මෙහි කතෘ අගතා ක්‍රිස්ටි සසඳන්නද , මන් පස්සේ වෙලාවක ඔය දෙකම කරලා පොඩි සටහනක් දැන්නම්.
මොනවා උනත් අගතා ක්‍රිස්ටි රහස් පරීක්ෂක කතා රැජින ලෙස ලෝකප්‍රසිද්දයි, ඒ වගේම ඇයගේ පොත් වල ඉංග්‍රීසි පිටපත් කොටි සියයක්ද, වෙනත් භාෂා වලට පරිවර්තනය උන පොත් කොටි සියයක්ද පාඨකයන් අතට පත් වී ඇති බව සඳහන්.
ධනවත් රදල වැන්දඹු කාන්තාවක්, ඇගේ අන්තිම කැමැත්ත, ඇගේ දරුමුනුපුරන් හා නිවසේ මෙහෙකාරිය, බොබී නමැති බල්ලා වටා ගෙතුනු සිද්දි දාමයක් තමන්ට හාන්සි පුටුවකට වී ගැටළු විසඳිය හැකි යයි කයිවාරු ගසන හර්කියුල් පොයිරෝ නම් රහස්පරික්ෂකයා  විසින් ප්‍රවේශමෙන් විසඳා පෙන්වන අයුරු මෙහි දැක්වේනවා.
පොයිරෝ විසින් මුල සිටම විසඳා තිබු මේ ගැටලුවට අදාල පරිදි සාක්ෂි එකතු කරපු බවක් තමා මට පොත කියවද්දී ඇති උන හැඟීම.මොනවා උනත් ෂර්ලොක් හෝම්ස් කියවද්දී දැනුන තරම් විචිත්‍රවත් ස්වභාවයක් මේ පොතේ නැති බව මන් කියන්නම ඕන. එක පරිවර්ථකගේ අවුලක්ද,කතෘගේ අවුලක්ද මට තේරෙන්නේ නෑ.. 
මොනවා උනත් අපරාධයක් කරලා වහං වෙලා ඉන්න හිතනවානම් මුලාවක්. ගොළුවෝ සාක්ෂි දෙනවාමයි, එහෙම නැතත් අපෙත් හඳ සාක්කි කීම එහෙම කට්ටිය කියවලා ඇතිනේ..


ගොළු සාක්ෂිකරුවා || Dumb Witness
කතෘ : Agatha Christie.
පරිවර්තක : තොම්සන් ඒ. වැන්දබෝනා
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ.
මිල : රු. 550.00
ISSBN : 978-955-31-0138-9

Monday 29 October 2018

හරි පුදුම ඉස්කෝලේ ~


~දඟකාර ජපන් දැරියක හා අසිරිමත් පාසලක් පිලිබඳ කථාව.

ඔබට මට ජීවිතයේදී කොතෙකුත්  හරි පුදුම ගුරුවරු මුන ගැසී ඇති, සමහර පාඩම් මිය යනතුරු අමතක නොවෙන ඒවාය. නමුත් හරි පුදුම ඉස්කෝල!!
දෙවන ලෝක යුද සමයේදී ජපානයේ ජපානයේ ටෝකියෝ නගරය අසල පිහිටුවා තිබුන සොසාකු කොබයාශි මහතා විසින් පවත්වාගෙන ආ අපුරු ඉගැන්වීම් ක්‍රමවේදයන් සහිත  අසිරිමත් ටෝමෝ නමැති  පර්යේෂණ පාසලක සිසුවියක් වශයෙන් ඉගෙනුම ලද කතුවරියගේ මතක සටහන් මේ කෘතියේ දිගහරි ඇත.
මෙම පාසලේ දරුවන් හට හිමි වූ නිදහස හා අවධානය වර්තමාන විධිමත් අධ්‍යාපන ක්‍රමයට හාත්පසින්ම වෙනස්ය. වර්තමාන විභාග පසු පස ළමයින් දක්කන ගුරු දෙගුරුන්ගේ හදවත සලිත කරවන සුළුය,  
" ළමයින්ගේ උතුම් බලාපොරොත්තු නොනසන්න, ඔවුන්ගේ සිහින ඔබගේ සිහින වලට වඩා විශාලය" එය කොබයාෂි මහතාගේ අවවාදයයි!

හරි පුදුම ඉස්කෝලේ. || TOTTO - CHAN The Little Girl at the window
කතෘ : Tetsuko Kuroyanagi
පරිවර්තක  : ලීලානන්ද ගමාච්චි.
ප්‍රකාශනය : විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය.
ISBN : 9789559625490


මගේ රේටින්: 🌻🌻🌻🌻🌻🌻🌼( මල් හතෙන් මල් හයයි)


[[Hari Puduma Iskole / Leelananda Gamachchi / Tetsuko Kuroyanagi / Wijesooriya ]]


Sunday 16 September 2018

සෙන්කොට්ටං


සෙංකොට්‌ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්‌ථානගත කරනු ලැබූ අව වරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙති.
මේ ලියන වෙලාව වෙනකොටත් ඒ චරිත මගේ හිතේ සක්මන් කරනවා, දැන් සති දෙකක් විතර!
මගේ සිත අතිශයින් සංවේදී කල, එක හුස්මට කියවා ඉවරයක් කල නව කතාවකි.


සෙන්කොට්ටං.
කතෘ: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.
ප්‍රකාශනය: සංථව ප්‍රකාශන.


මගේ රේටින්: 🌻🌻🌻🌻🌻🌼🌼( මල් හතෙන් මල් පහයි)

[[ Senkottan / Mahinda Prasad Masimbula / Santhawa ]]